මොහොතකට 
ලෝකය නවතමු

 -ජනක කුලසේකර-

මොහොතකට ලෝකය නවතමු

ඡායාරූපයක් යනු, ගලා යන කාලයෙහි එක් මොහොතක් පමණක් නොව ඡායාරූප ශිල්පියාගේ ජීවිතයෙහි ද එක් ඇසුරු සැනකි. ඇන්සල් ඇඩම්ස් පවසන ආකාරයට ඡායාරූපයක දෙදෙනෙක් සිටී. එනම් ඡායාරූප ශිල්පියා සහ රසිකයාය. මෙහි දී මූලිකත්වය දී ඇත්තේ ඡායාරූප ශිල්පියාටය. ඡායාරූපයක් තුළ ශිල්පියාගේ ජීවිතයේ ප‍්‍රබල හෝ දුබල අත්දැකීමක් ඉතා ක්ෂණික ප‍්‍රකාශනයක් ලෙස සටහන් වෙයි. ඡායාරූපයකින් ප‍්‍රධාන වශයෙන් ම පිළිබිඹු වන්නේ ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියාමය.

රූපනිර්මාණය හා ගුණය

  • ඡායාරූප ශිල්පියාගේ රුචිකත්වය 
  • ඔහුගේ සිහිය.
  • අරමුණ පැහැදිලිව දැකීමට ඇති හැකියාව.
  • අරමුණට අදාළව ඒ අවට ඇති බොහෝ දේ අරමුණු සමග එකවරම දැකීමේ හැකියාව.
  • ඔහු බලන කෝණය.
  • සුන්දරත්වය දැකීම. (එනම් වර්ණ, රේඛා, හැඩතල ආදියෙහි අනෝ‍න්‍යය රිද්මය විඳීමට හා සිතින් දැකීමට ඔහු තුළ ඇති හැකියාව.)
  • ශිල්පියාගේ දරා සිටීමේ හැකියාව.
  • ජීවිතය දෙස ඔහු බලන ආකාරය.
  • ඔහු හොඳ නරක දකින ආකාරය.
  • ඔහුගේ මානව දයාව හෝ දුෂ්ටකම.

ආදියත් මේ සියල්ලට ම වඩා ඔහුට රසිකයා පිළිබඳව ඇති ගෞරවය හා විස්වාසයත් ඔහුගේ ඡායාරූපය‍ෙන් පිළිඹිඹු වෙයි.

කල්පනාව

නවකයින් සිතන ආකාරයට ඡායාරූපයක වටිනාකම රඳා පවත්නා ප‍්‍රධාන ම සාධකය ඔහු සතු මිල අධික කැමරාව හෝ ඡායාරූප ශිල්පියා එක් රැස් කොට ඇති තාක්ෂණික හා කලාත්මක තොරතුරු සම්භාරය වුවත් එය එස‍ේ නොවේ. ඒ සියල්ලම මෙවලම් හා මාර්ගෝපකරණ පමණි. ඡායාරූපයක් යනු, ඡායාරූප ශිල්පියා යන ගමනේ දී එම මෙවලම් හා මාර්ගෝපකරණ මනාව හැසිරවීමෙන් ප‍්‍රකාශ වන ඡායාරූප ශිල්පියාගේ ආත්මයයි. විශ්වයේ අන් සියල්ලම මෙන් ඡායාරූප ශිල්පියාත් ඔහුගේ ඇතුළාන්තයේ සිට හැසිරීමේ දක්වා සියල්ලම සමස්තයක් වශයෙන් මොහොතින් මොහොත වෙනස් වෙමින් පවතී. කළින් කලට ඡායාරූප ශිල්පියාගේ ඡායාරූප වල අප දකින වෙනස්කම් වලට මූලික හේතුව මෙසේ ඡායාරූප ශිල්පියා තුළ සිදුවන නිරන්තර වෙනස්කම්ය.

ඡායාරූප ශිල්පියෙකු අලූත් කැමරාවක් ගත් පමණින් ඔහුගේ ඡායා රූපවල ගුණාත්මක අගයෙහි සැලකිය යුතු වෙනසක් අපට දැකිය නොහැක. නමුත් ඡායාරූප ශිල්පියෙකු පෙම් සබඳතාවයක් බිඳ වැටීම ඔහුගේ ඡායාරූප වලට තදින් බලපාන්නට ඉඩ ඇත. ඔහු විවාහ විම හෝ දික්කසාද විම ඊටත් වඩා තදින් ඔහුගේ ඡායාරූප වල දියුණු හෝ පිරිහීමට බලපාන්නට ඉඩ ඇත. ඔහු ළඟාකර ගන්නා, ඈත් කරන මිතුරන් හා මග පෙන්නන්නන් ඡායාරූප වලට බලපාන තවත් ප‍්‍රබල සාධකයකි. දුසිරිතට ඇබ්බැහි විම හෝ ඉන් මිදීම ද ඡායාරූප ශිල්පියාගේ නිර්මාණ ශක්තියට තදින් බලපානු ඇත. පරිසරය රැකියාව ආදී පොදු බාහිර සාධක ද ඔහුගේ ඡායාරූපවල ආකෘතිය අන්තර්ගතය හා අගය වෙනස් විමට බලපායි. ඡායාරූප ශිල්පියා කරන කියන අන් සියලූ දේටම මෙන් ම ඡායාරූප වලට ද ඔහුගේ මෙම වෙනස්වීම් ප‍්‍රබලව හෝ සියුම් ලෙස බලපායි. තම වෙනස්වීම් ගැන අවධානයෙන් තොරව යන බොලඳ ඡායාරූප ශිල්පියාගේ මග අඳුරුය. ගමන කෙටිය. ඉහත සාධක සියල්ලම අතුරින් ඡායාරූප ශිල්පියාට වඩාත්ම ප‍්‍රයෝජනවත් සාධකය විමසා බැලූවොත් "ඡායාරූප ශිල්පියා වෙනස් විමෙන් ඡායාරූපය වෙනස් වේ" යන සියුම් අවබෝධය අපට උකහා ගත හැකිය.

 

logo helio

Subscribe Us

Write your email into below field and join our quick support forum.